ලබන සතියේ චීනයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය වන ෂෙන්සෙන් හිදී පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සමගාමීව මෙම සුවිශේෂී හමුව පැවැත්වෙන බව ධවල මන්දිරයේ මාධ්‍ය සම්බන්ධිකාරකවරයෙකු තහවුරු කර තිබේ. එහිදී ඉරාන යුද්ධය සහ න්‍යෂ්ටික අවි තොග සීමා කිරීම සම්බන්ධයෙන් නායකයන් තිදෙනා අතර සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම සංචාරය සඳහා සුප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් ද ට්‍රම්ප් සමඟ චීනය බලා පිටත්ව යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

න්‍යෂ්ටික අවි ගිවිසුම සහ සාකච්ඡාවේ බලාපොරොත්තු

වොෂින්ටනය සහ මොස්කව් අතර පැවති ‘නව උපායමාර්ගික අවි අඩු කිරීමේ ගිවිසුම’ (New START) පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වූ අතර, එය අවසන් වී මාස නවයකට පසුව මෙම සාකච්ඡා පැවැත්වේ. එම ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කිරීමට රුසියාව කළ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර, චීනය ද ඇතුළත් වන නවීකරණය වූ නව ගිවිසුමක් අවශ්‍ය බව ඔහු පෙන්වා දී තිබුණි. වසර 50කට අධික කාලයකට පසු රටවල් දෙකෙහි න්‍යෂ්ටික අවි කිසිදු සීමා කිරීමකින් තොරව පවතින බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම හමුවෙන් ක්ෂණිකව විශාල ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, මෙය සාකච්ඡාවක ආරම්භයක් පමණක් බවත් ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත. එසේම ට්‍රම්ප් මෙහිදී ඉරාන යුද්ධය පිළිබඳ කතා කිරීමට සූදානම් වුවද, යුක්රේන යුද්ධය ගැන කතා කිරීමෙන් වැළකී සිටිනු ඇති බව මාධ්‍ය වෙත ප්‍රකාශ වී තිබේ.

“අප කිසිදු ආකාරයක එකඟතාවකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත,”ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්