ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළේ අමතර ලාභයක් ඉපයීමට නොවන බවත්, පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් බවත් ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

සෞදි අරාම්කෝ සමාගම මසක් පාසා ප්‍රකාශයට පත් කරන මිල අනුව ලෝක වෙළෙඳපොළේ මිල තීරණය වන බවත්, යුදමය තත්ත්වය නිසා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක පිරිවැයක් එකතු වී ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

මිල හැදුණු හැටි මෙන්න

යුද තත්ත්වය නිසා නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් රුපියල් 417ක මුදලක් ද, විනිමය අනුපාත වෙනස්වීම් නිසා රුපියල් 299ක් ද පිරිවැයට එකතු වී ඇති බව වාර්තා වේ.

මීට අමතරව සියයට 18ක වැට් බද්ද ලෙස රුපියල් 256ක් සහ බැංකු ණය හා ණයවර ලිපි (LC) වෙනුවෙන් රුපියල් 90ක මූල්‍ය පිරිවැයක් එකතු වන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව රුපියල් 1,769ක පිරිවැයක් ගණනය වුවත් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමූ බව පැවසීය.

පාඩු පිට දෙන්න බෑ

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස්කරුවන්ට මෙන්ම ණය දුන් බැංකුවලට වගවීමට සිදුව ඇති නිසා පාඩු ලබමින් ගෑස් අලෙවි කිරීමට නොහැකි බව නලින්ද කුරුකුලසූරිය මහතා අවධාරණය කළේය.

මෙම මිල සංශෝධනය පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට හෝ ලාභ ලැබීමට ගත් තීරණයක් නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.