නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමත් සමග පාසල් කාලසටහන් සැකසීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති බව වාර්තා වේ. පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් දෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පාසල් පැවැත්වෙන අලුත් වේලාවන්

නව චක්‍රලේඛයට අනුව ලබන වසරේ සිට 1 සහ 2 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 11.45 දක්වා සංශෝධනය වනු ඇත.

එමෙන්ම 3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් කාලය උදෑසන 7.30 සිට දහවල් 1 දක්වා වන අතර, 05 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා බව එහි පැහැදිලි කර තිබේ.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ගමන

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ වසරේ ආරම්භයේදී 01 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. එහි ඉදිරි පියවර ලෙස ලබන වසරේදී 02 ශ්‍රේණිය සහ 06 ශ්‍රේණිය වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබේ.

එතැන් සිට දරුවන් ඉහළ පන්තිවලට යන්නේ මෙම නව ක්‍රමය ඔස්සේය. ඒ අනුව මේ වනවිට 01 ශ්‍රේණියේ සිටින දරුවන් 05 ශ්‍රේණියට පැමිණෙන වසරේදී එම ශ්‍රේණියටද මෙම විෂයමාලාව එක්වේ. සාමාන්‍ය පෙළට මෙය 2030 වසරේදීත්, උසස් පෙළට 2033 වසරේදීත් හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ.