වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ඩෝ වතුයායේ පිහිටි පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. පාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව මෙම තත්ත්වය හටගෙන තිබේ.

මෙලෙස අසනීප වී ඇත්තේ එම පාසලේ 03 වසරේ සිට 05 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන් පිරිසකි. ඔවුන්ට උදෑසන ආහාරය වෙනුවෙන් බත්, අල සහ බීට්රුට් ව්‍යංජනයක් ලබාදී ඇති බව සඳහන් වේ.

ළමුන්ගේ තත්ත්වය බරපතල නෑ

ආහාර ගැනීමෙන් පසුව දරුවන්ට වමනය, කලන්තය මෙන්ම පපුවේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතු වී ඇත. ඒ හේතුවෙන් සිසුන් 34 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවට රෝහල් ආරංචි මාර්ගවලින් තහවුරු කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වටවල පොලීසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.