අනුරාධපුර, රඹෑව ප්රදේශයේදී පසුගිය 10 වැනි දින සිදුවූ දරුණු බස් රථ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි අවුරුදු හතරක කුඩා දැරියක අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්රකාශකයෙකු පැවසීය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පදවිය, විදුලිබල මණ්ඩල පාරේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ විනුති රුහංසා හෙට්ටිආරච්චි නමැති සිව් හැවිරිදි දැරියකි.
මවගේ සත්දින පිංකම දවසේම සිදුවූ ඛේදවාචකය
මෙම මාරක රිය අනතුර සිදුවූ දිනම එම දැරියගේ මව වූ හෙට්ටිආරච්චිලාගේ හසන්ති සෙව්වන්දී මහත්මිය ද මියගොස් තිබිණි. සංවේගයට කරුණ වන්නේ මවගේ සත්දින පිංකම පැවති දිනයේදීම මෙම කුඩා දියණිය ද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතයෙන් සමුගැනීමයි.
මීට අමතරව ඔවුන් ගමන් කරමින් තිබූ බස් රථයේ රියදුරු වූ කැබිතිගොල්ලෑව ඇටවීරගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන ලංකා ජයනාත් නැමති අයද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබූ බව වාර්තා වේ.






