දේශීය ධීවර ක්ෂේත්රය සහ සමූපකාර ව්‍යාපාරය ඒකාබද්ධ කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘CoopFish’ නව ටින් මාළු නිෂ්පාදන 28ක් එළිදැක්වීම ඊයේ (15) පස්වරුවේ සීදූව Hotel Royal Ramesses පරිශ්‍රයේදී පැවැත්විණි. මෙය සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) සහ ‘රිච්වින්’ (Richwin) සමූහ ව්‍යාපාරය එක්ව සිදුකරන කටයුත්තකි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ ද එක්ව සිටියේය.
සමූපකාරය නගාසිටුවීමට දැවැන්ත සැලසුම්
පසුගිය කාලයේ අභාවයට යමින් තිබූ සමූපකාර ව්‍යාපාරය රජයේ නව ප්‍රතිපත්ති අනුව නැවත ගොඩනගන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී ප්‍රකාශ කළේය. පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට බඩු ලබාදීම වෙනුවෙන් 2029 වන විට දිවයින පුරා සමූපකාර අලෙවිසැල් 10,000ක් සහ නවීන ‘මෙගා කෝප් සිටි’ 25ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
ටින් මාළු අමුද්‍රව්‍ය ගෙන්වීමට වාර්ෂිකව වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 20ක විදේශ විනිමය ඉතිරි කරගැනීම රජයේ ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සඳහා ගැඹුරු මුහුදු යාත්‍රා මිලදී ගැනීමට 5%ක සහන පොලියට රුපියල් මිලියන 500ක් දක්වා ණය දෙන බවත්, ධීවර කර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන 15ක් වෙන්කර ඇති බවත් සඳහන් කළේය.
ගමටම යන CoopFish සහ කර්මාන්තශාලා ධාරිතාව
COOPFED සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න පෙන්වා දුන්නේ සමූපකාර සමිති 305ක්, අලෙවිසැල් 4,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මිලියන 8.2ක සාමාජික පදනම හරහා මෙම නිෂ්පාදන සෑම ගමකටම ගෙන යන බවයි. එමෙන්ම මේවා ඉදිරියේදී පිටරටට අපනයනය කිරීමට ද අපේක්ෂා කෙරේ. වසර 15ක් පාඩු ලැබූ COOPFED ආයතනය මාස හතරකින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් සේවක මණ්ඩලය විසින් සභාපතිවරයාට උපහාර තිළිණයක් ද පිරිනමන ලදී.
රිච්වින් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ විකුම් ප්‍රනාන්දු සඳහන් කළේ මදුරන්කුලිය සහ ගාල්ල කර්මාන්තශාලා මඟින් දිනකට ටින් මාළු ලක්ෂ 3.5ක් නිෂ්පාදනය කළ හැකි බවයි. ගැඹුරු මුහුදේ මසුන් එකතු කරන යාත්‍රා 50ක ව්‍යාපෘතියක් හරහා ඉදිරි වසර තුනේදී මෙය සම්පූර්ණයෙන්ම දේශීය මසුන්ගෙන් සිදුකර නව රැකියා 6,000ක් බිහිකිරීම තම ඉලක්කය බවත්, ඉදිරි වසර දෙක තුළ රුපියල් බිලියන 25ක අලෙවියක් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.






