දූෂණ චෝදනා සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. හෙට (18) සහ අනිද්දා (19) යන දිනවල ඔවුන්ට මෙලෙස පෙනී සිටීමට නියමිතය.

කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී අබේසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

කොමිසමට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

පාර්ලිමේන්තුවේ NC 4923 දරන රථය බාර ගැනීම සහ එය රාජකාරී සඳහා යොදා ගැනීම පිළිබඳ සියලු තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුව ඇත. එමෙන්ම 2025 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා වූ ධාවන සාරාංශ මෙන්ම, මේ වසරේ ජනවාරි මස 07 වැනිදා එම රථය මුහුණ දුන් රිය අනතුරට අදාළ ලියකියවිලි ද රැගෙන එන ලෙස දැනුම් දී තිබේ.

මෙම විමර්ශනය 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පසුගිය පෙබරවාරි මස 02 වැනිදා කළ පැමිණිල්ලකට අනුවය.

වාහන චෝදනාව සහ විශ්වාසභංගය

කතානායකවරයාට නිල වශයෙන් හිමිවන්නේ වාහන දෙකක් පමණක් වුවත්, අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් හදා ඊට පාර්ලිමේන්තුවේ වාහනයක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව පැමිණිල්ලේ දැක්වේ. අනතුරට ලක්ව ඇත්තේ ද කතානායකවරයාගේ කටයුත්තක් සඳහා යොදවා තිබියදී බවත්, එය අලුත්වැඩියාවට රක්ෂණ මුදලට අමතරව පාර්ලිමේන්තු මුදල් වැය කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි. පසුගියදා පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ උසස් නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කර ඇත.

මේ අතර, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති අතර, නීති විරෝධීව අමතර වාහනයක් භාවිත කිරීම ද එහි එක් චෝදනාවකි.