රජය විසින් ගෙන ඒමට සූදානම් වන PSTA පනත් කෙටුම්පතට විරුද්ධව ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතා පාගමනක් පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණියේ කාගේත් අවධානය දිනාගත් වෙනස්ම ආකාරයකිනි. එහිදී වඩාත්ම කැපී පෙනුණු චරිතය බවට පත්වූයේ ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිය.

ඔහු මෙම විරෝධතාවයට පැමිණ සිටියේ උඩුකය ඇඳුම් රහිතව සිය සිරුරේ සටහන් කර ඇති පච්ච ප්‍රදර්ශනය වන ආකාරයෙනි. මීට පෙර 2022 අරගල සමයේදී කුරුසියක් කර තබාගෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා සිටි ඔහු මෙවරද කාගේත් ඇස ගැටෙන අයුරින් සිය විරෝධය දක්වා තිබිණි.

පාගමන පොල්දූවෙන්

මෙම විරෝධතා පාගමන පොල්දූව මංසන්ධියෙන් ආරම්භ වී පාර්ලිමේන්තු පිවිසුම දක්වා ගමන් කර තිබේ. රජය යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හෙවත් PSTA සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත පිළිබඳව තම දැඩි විරෝධය නීති සම්පාදකයින් වෙත දැක්වීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණි.

මෙම යෝජිත නව පනත් කෙටුම්පත් හරහා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සහ නිදහසට බාධා සිදුවිය හැකි බව ජන අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි.