ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වේ. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වා පහත වැටී ඇති අතර Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 95.42ක් ලෙසය.

කෙසේ වෙතත් Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරදින ගනුදෙනු සැසියට සාපේක්ෂව සුළු වශයෙන් වැඩි වී ඇති අතර, එහි මිල ඩොලර් 94.48ක් ලෙස සටහන්ව තිබේ.

මිල පහළ යාමට බලපෑ හේතු

ගෝලීය වෙළෙඳපොළේ පවතින ඉල්ලුමට වඩා බොරතෙල් සැපයුම ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාව මෙම මිල පහළ යාමට මූලිකවම බලපා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. මැදපෙරදිග හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති තත්ත්වයට ආසන්න වීමත්, චීනයේ ඉල්ලුම පහළ යාමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් මීට හේතු වී ඇත.

මේ වසරේ සිව්වැනි කාර්තුවේදී දෛනික ගෝලීය බොරතෙල් සැපයුම බැරල් මිලියන 105ක් පමණ වනු ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි. එය අපේක්ෂිත ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7ක අතිරික්තයකි.

චීනයේ තත්ත්වය සහ වෙළෙඳපොළ අනාවැකි

ලොව දෙවැනි විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන චීනයේ පිරිපහදු කටයුතු ඔක්තෝබර් මාසයේදී පෙර මාසයට වඩා සියයට 2කින් සහ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 8.1කින් අඩු වී ඇතැයි වාර්තා වේ.

එසේ වුවද හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක අවදානම් තත්ත්වය සහ අධික නෞකා ප්‍රවාහන ගාස්තු හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් පහළ යාම සීමා විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.