අනුරාධපුර නව සංවර්ධන සැලැස්ම පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් මතුව තිබේ. රුවන්වැලිසෑය ඇතුළු ඓතිහාසික චෛත්‍යයන් ගිලා බැසීමේ අවදානමක් ඇති බවටත්, පූජා නගරය තුළ ස්පා මෙන්ම මත්පැන්හල් ඉදිවීමට ඉඩ ඇති බවටත් මත පළවෙමින් පවතී.
පසුගිය ඔක්තෝබර් 26 වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, යෝජිත භූගත ඉදිකිරීම් නිසා ප්‍රධාන චෛත්‍යවල අත්තිවාරම්වලට හානි විය හැකි බවයි. එමෙන්ම වෙනත් ආගමික ස්ථාන සහ කෝවිල් ඉදිවීමට මෙන්ම පොදු සේවා කලාපවල ස්පා හා මත්පැන්හල් ඇතිවීමට මෙයින් ඉඩ ලැබෙන බවට ද ඔහු චෝදනා කළේය.
රජයේ පැහැදිලි කිරීම සහ සීඅයිඩී පැමිණිල්ල
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් ගැසට් නිවේදනය වැරදි ලෙස වටහා ගැනීමක් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPPD) පෙන්වා දෙයි. නව ආගමික ස්ථාන හැදීමට හෝ බැතිමතුන්ට බාධා කිරීමට මෙම සැලැස්මෙන් අදහස් නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් සඳහන් කර ඇත.
මේ අතර, ආගමික නොසන්සුන්තාවක් ඇති කර මහජන සාමය කඩකිරීමට අදාළ ප්‍රකාශ හේතු විය හැකි බව පවසමින්, ජාතික බුද්ධිමත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරිකයෙකු වන උපාලි රත්නායක සහ රජරට විශ්වවිද්‍යාලීය හඬ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික දීපාල් තිලකරත්න යන මහත්වරුන් විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
විරෝධතා පිටුපස ඇති සැබෑ තත්ත්වය
මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණක් වන්නේ පූජා නගරයෙන් කිලෝමීටර් දෙක තුනක් ඈතින් පිහිටි සංඝමිත්තා මාවත සහ අනුලා මාවත ආශ්රිත පුරාවිද්‍යා නටඹුන් නවීන තාක්ෂණයෙන් කැණීම් කර මතු කර ගැනීමයි. මෙම කලාපයේ ක්‍රිස්තු පූර්ව 300ට එහා ගිය පුරාවිද්‍යා වටිනාකම් පවතින බව වාර්තා වේ.
නමුත් අතීත නුවර ප්‍රාකාරය අවට අනවසරයෙන් නිවාස ඉදිකරගෙන සිටින පිරිස් තම ඉඩම් අහිමිවේ යැයි බියෙන් මෙම විරෝධතා පිටුපස සිටින බවට චෝදනා එල්ල වේ. පසුගිය ආණ්ඩු සමයන්හි දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් බලපත්‍ර ලබාගත් ඇතැම් පිරිස් සහ ජාවාරම්කරුවන් මෙම ඓතිහාසික ගවේෂණයන් කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවට ද තොරතුරු වාර්තා වේ.






