ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා අද (22) සිට පත් කර ඇතැයි වාර්තා වේ. ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත භාර දී තිබේ.

කෑගල්ල තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා, 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට එක්වෙමින් නාවික හමුදා සේවයට එක්විය. 1994 දී වැඩ බලන උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු, 2024 වසරේදී රියර් අද්මිරාල් නිලයට උසස්වීම් ලැබීය.

දැනුම හා සේවා අත්දැකීම්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලබාගත් ඔහු, පසුව බංග්ලාදේශය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව යන රටවලින් උසස් හමුදා පාඨමාලා හදාරා ඇත. එසේම ඉන්දියාවේ ගෝවා විශ්ව විද්‍යාලයෙන් ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත්, මදුරාසි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් හිමිකරගෙන තිබේ.

නාවික හමුදා සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රා අණභාර නිලධාරී, නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, වයඹ සහ දකුණු නාවික විධානවල ආඥාපති ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් ඔහු හොබවා ඇත. මීට අමතරව උතුරු නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී ලෙසද කටයුතු කරයි.

වීර පදක්කම් සහ ක්‍රීඩා දස්කම්

තිස් වසරක යුද සමයේ දැක්වූ නිර්භීතභාවය උදෙසා වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා සහ දේශ පුත්‍ර යන පදක්කම්වලින්ද ඔහු පිදුම් ලබා ඇත. නාවික හමුදාධිපතිවරුන්ගේ ප්‍රශංසාත්මක ලිපි දෙවරක්ම ලබා ඇති ඒ මහතා, නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපතිවරයා ලෙසත් ජූඩෝ හා මල්ලවපොර සංචිතයන්හි ලේකම් ධුරයන්හිත් කටයුතු කර තිබේ.