කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු මුහුණ දුන් අවාසනාවන්ත අනතුරු පෙළක් පිළිබඳව මාතලේ, යටවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගමන් කරමින් සිටියදී එක් යතුරුපැදියක් මාර්ගය අසල තිබූ බුදුමැදුරක ගැටීමෙන් ප්‍රථම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

මිතුරා රෝහලට රැගෙන යද්දී සිදුවූ දෙය

පිටුපසින් පැමිණි අනෙක් මිතුරා විසින් අනතුරින් තුවාල ලැබූ තම යහළුවාව වහාම ත්‍රිරෝද රථයකට නංවා රෝහල වෙත පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

අනතුරුව ඔහුද එම ත්‍රිරෝද රථය පසුපසින් තම යතුරුපැදිය පදවාගෙන රෝහල දෙසට ගමන් කර ඇති බව වාර්තා වේ.

එලෙස ගමන් කරමින් සිටියදී යටවත්ත, ඇහැටුවැව ප්‍රදේශයේදී එම යතුරුපැදිය ද මෝටර් රථයක සහ විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබේ.

දෙදෙනාම ජීවිතක්ෂයට

දෙවන අනතුරට මුහුණ පෑ තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

එමෙන්ම මුලින් අනතුරට පත්ව ත්‍රිරෝද රථයෙන් රෝහල් ගත කළ අනෙක් මිතුරාද රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 සහ 24 යන වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙකි.