ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු බව වාර්තා වනවා.

කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

පුරෝකථන වාර්තාවක් සකස් කරන්න උපදෙස්

වර්තමානයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මෙන්ම අධික වැසි තත්ත්වය ගැන පුරෝකථන දත්ත තවදුරටත් විශ්ලේෂණය කර, ඉන් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳ පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමටත්, වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් හඳුනාගෙන තිරසර විසඳුම් යෙදීම සඳහාත් දැනට ඇති සැලසුම් යාවත්කාලීන කිරීමට මෙමගින් හැකි වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සාකච්ඡාවට එක්වූ පිරිස

මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියා.

ඊළඟට කුමක්ද?

අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.